පාසලේ ඉතිහාසය

The Life Skill Training Workshop for Prefects

School Provincial Drama Competition

13 වන ශ්‍රේණි සදහා වාර විභාග

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2023-11-17at092308.jpeg

 

              1882 මාර්තු "ශ්‍රී ලංකාවේ මධ්‍ය මණ්ඩලයේ පිහිටි ජාතික පාසල" යන විරුදාවලියෙන් පිදුම් ලබන මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාශයට අයත් නාඋල අධ්‍යාපන කලාපයේ පිහිටි නාඋල ශ්‍රී නාග ජාතික පාසල 1882 වර්ෂයේ දී සිය සමාරම්භය සනිටුහන් කර ඇති අතර, 2012 වර්ෂයේ සිට රජයේ ද්විතීක පාසල් 1000 සංවර්ධන ව්‍යාපෘතියට අයත් ප්‍රමුඛ පෙළේ පාසලකි .

               වසර 130 ක අභිමානවත් ඉතිහාසයක් හිමි අප විදුහල තම ප්‍රගමනයේ නව පියවරක් තබමින් 2012 වර්ෂයේදී විද්‍යාලයීය ප්‍රාථමික අංශය ශ්‍රී නාග ප්‍රාථමික විද්‍යාලය නමින් වෙනම ප්‍රාථමික පාසලක් ලෙස සංවර්ධනය කරන අතරම 2013 වර්ෂයේදී 1 ABS ගණයට ඇතුළත් වෙමින් නව තාක්ෂණ විෂය ධාරාව ක්‍රියාත්මක වන පාසලක් බවට ද පත්වී ඇති බව දක්වන්නෙ සතුටෙනි.

           එබඳු වර්ථමානයකට උරුමකම් හිමි ශ්‍රී නාග ජාතික පාසලේ අතීත ගමන් මඟ පිළිබඳව සොයා බැලිය යුතුය. ඓතිහාසික සීගිරි රජදහන,රංගිරි දඹුල්ල,නාලන්දා ගෙඩිගේ, නාතිස්ස විහාරය වැනි සීමාවන්ගෙන් සමන්විත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමරණීය වූත්, අභිමානනීය වූත්, ඉතිහාස වංශකතාවකට හිමිකම් කියන පුරවරයක මෑත භාගයේ දී වෙසෙන ජනතාවගේ ජීවන රටාවත්, චර්යා ධර්මයන්, සිතුම් පැතුම් වැනි සියලු අංගයන් සකස් කිරීම, වෙනස් කිරීම මෙන්ම උසස් කිරීම කෙරෙහි එක එල්ලේ බලපෑ විවිධ ආයතන අතුරෙන් ප්‍රධානතම ආයතනය බවට පත්වනුයේ මප/නා/ ශ්‍රී නාග ජාතික පාසලයි. වරක මිහිරි, තවත් වරක අභියෝගාත්මක එමෙන්ම අභිමානනීය වංශ කතාවකට හිමිකම් කියන මෙම ශිල්පායතනය වසර130 ක අඛණ්ඩ ඉතිහාසයක් පිළිබඳ අයිතියිකින් සමන්විත. දෑ හිතකාමී මෙන්ම ශික්ෂාකාමී විද්‍යාලාධිපතිවරුන් සමූහයකගේ ස්ථානෝචිත මාර්ගෝපදේශකත්වයෙන් හැඩ වුණු එකී ගමන් මග ධෛර්ය සම්පන්න හා අධිෂ්ඨානශීලිව විද්‍යාලීය ප්‍රගමනය වෙනුවෙන්ම සකස් වූවකි.

                 18 වන ශත වර්ෂයේ අග භාගයේ දී ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ සුවිශේෂී මග සලකුණු විවර වන වකවානුවක ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා,හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වැනි ජාතික,ආගමික,අධ්‍යාපනික පුනර්ජීවනය උදෙසා සටන් කළ ජාතික වීරයන් නැංවු කාහල නාදයෙන් ශ්‍රී ලංකාවේ ඈත දුෂ්කර ගම් දනව් පවා ආලෝකමත් වීම ඊට හේතුවයි.

                  ඒ හඩින් ප්‍රමුදිත ආර්.එම්.මුදලිහාමි නම් දෑ හිතකාමී සමාජ සේවකයෙකු විසින් වර්ෂ1882 දී සිසුන් 8 දෙනෙකුගෙන් යුතුව මෙම පාසල ආරම්භ වනුයේ කුඩා පොල් අතු මඩුවක සෙවණ ලබමිනි. වර්ෂ 1882 නොවැම්බර් මස 01 දින පී. එස්. යූ.බණ්ඩා මහතා ප්‍රථම මුල් ගුරු පදවිය හෙබවූ බව පාසල් ඉතිහාසයේ සඳහන් වී ඇත. එදා ඔහුගේ කුඩා නිල නිවස පොල් අතු සෙවිලි කළ කටුමැටි බිත්ති ආවරණයෙන් සමන්විත වූ බව පාසල් ඉතිහාසයේ තතු දන්නෝ පවසති. පාසල ආරම්භ කර වර්ෂ හයක් ගතවන විට එනම් 1888 දී පමණ එවකට පැවති රජයේ පාඩම් විභාගය සඳහා සිසුන් 128 සහභාගි වූ අතර ඒ වන විට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයද 4 දෙනෙකු දක්වා වර්ධනය වී ඇත. වර්ෂ 1839 වන විට විද්‍යාලයීය ඉතිහාසයේ පළමු නොමැකෙන මතක සටහන් තබමින් ස්ථිර පාසල් ගොඩනැගිල්ලක් ඉදි වී ඇත. විසිවන සියවසේ මුල් භාගය වන විට ඉතා හරවත් ලෙස දළු ලා වැඩෙන මෙම අධ්‍යාපන නිකේතනය පාසල් විෂය මාලාවට අමතරව ක්‍රිඩා කටයුතු ද තම විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට ඇතුළත් කර ගනිමින් 1925-1930 අතර කාලයේදී බොක්සිං ක්‍රීඩාව තුළින් මධ්‍යම පළාතේ වඩාත් ජනප්‍රිය නාඋල ස්වභාෂා පිරිමි පාසල බවට පත් වේ. 

                 වර්ෂ 1934 පෙබරවාරි මස 13 වන දින මිශ්‍ර පාඨශාලාවක් බවට පත්වීම පාසල් ප්‍රගතියේ තවත්  සනිටුහනකි. එකී මූලාරම්භය ප්‍රදේශයේ සුවහසක් දුවා දරුවන්ට අධ්‍යාපනයේ රුවන් දොරටු විවර වීමකි. වර්ෂ 1947 සිට ඉංග්‍රීසි ජූනියර් පාසල් තත්වයට පරිවර්තනය වන අප විදුහල් මාතාව 1956 ජනතා ජයග්‍රහණයට සමගාමිව සිදුවන අධ්‍යාපන නවෝදයේ ප්‍රතිඵලයක් ලෙස සිය පාසල් වංශ කතාව නව පරිච්ඡේදයක් එක් කරමින් මා/නාවුල මහා විද්‍යාලය බවට පත්වෙමින් ශිෂ්‍ය සංඛ්‍යාව 317 ක් බවටත් ආචාර්ය මණ්ඩලය 18 දෙනකු බවටත්  වර්ධනය කර ගැනීමට සමත් විය.

              විද්‍යාලය සතු මානව සම්පත් මෙන්ම භෞතික සම්පත්ද ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් 1963 වන ජූලි මස 25 දින නාවුල ශ්‍රි නාග මහා  විද්‍යාලය ලෙසින් සිදුවන නව උසස් කිරීම මෙම විද්‍යාලයේ අධ්‍යාපනික  නවෝදයේ තවත් නොමැකෙන මතක සටහනකි. වර්ෂ 1970 පසු ශ්‍රීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් 1977 අප්‍රේල් 6 වන දින සිට වාණිජ,විද්‍යා,උසස් පෙළ පන්ති ආරම්භය වීම තවත් සුවිශේෂී අවස්ථාවකි. මේ වන විට විද්‍යාලයීය ශිෂ්‍ය සංඛ්‍යාව 717ක් බවටත් ආචාර්ය මණ්ඩලය 32ක් බවටත්‍ වර්ධනය වී ඇත. එවකට විද්‍යාලාධිපති ධුරන්දර ආර්. එම්. කරුණාරත්න මහතා යටතේ වර්ෂ 1980 ඔක්තෝම්බර් 17 වන  දින උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ වීම ද තවත් වැදගත් කාල පරිච්ඡේදයක දොරටු විවර වීමක් වශයෙන් දැක්විය හැකිය.

             2012 වර්ෂය වනවිට 1AB වර්ගයට අයත් ජාතික පාසලක් වන ශ්‍රි නාග විදු පියස වර්ෂ 2005ට එළඹෙන විට සිසු සංඛ්‍යාව 1,708 කින් සමන්විත වන අතර ඔවුන්ගේ නැණ පහන් දල්වන ආචාර්ය මණ්ඩලය 83කින් පමණ සමන්විතය.

            කේ. වී. ආර්. කුලරත්න මහතාගේ  විද්‍යාලාධිපතිත්වයෙන් මාර්ගෝපදේශය ලැබූ විදුහල් මාතාව පළාත් සමස්ත ලංකා මට්ටමින් ශ්‍රි ලංකාවේ අනෙකුත් පාසල් සමඟ උරෙන් උර  ගැටෙමින් උරුම කරගෙන ඇති ජයග්‍රහණ හා ප්‍රශංසා අසීමිතය.

              ශ්‍රි ලාංකීය  අධ්‍යාපන දැක්මට අනුගත වෙමින් සහශ්‍රයේ අධ්‍යාපනික  අවශ්‍යතා සම්පූර්ණ කරනු ලබන  විද්‍යාලයක් බවට ශ්‍රි නාග ජාතික පාසල නවතම මුහුණුවරකින් ගමන් අරඹා ඇත්තේ එවකට විද්‍යාලාධිපති ධුරන්දර කේ .බී. මල්වත්ත මැතිතුමාගේ මගපෙන්වීම යටතේය. 2013 ජුනි මස ජාතික ශිෂ්‍යභට බලකාය විසින් පළවන ශ්‍රේණියේ  විදුහල්පතිවරුන් වෙත පිරිනැමීමෙන් කපිතාන් නිලයෙන් එතුමා පිදුම් ලැබීම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඒ ඔස්සේ සිසු දරුවන්ගේ නැණ නුවණ මෙන්ම යහපත් සිසු විනය කෙරෙහිද ලැබී ඇති ආලෝකය ඉමහත් ය.

            ශ්‍රී ලාංකික අධ්‍යාපන  වංශ කතාව විවිධ අවධින් තුළ විවිධ දිශාවන්ට ගමන් කිරීම නිරන්තරයෙන්ම සිදු වූවකි. ඒ අනුව 2013 වන ජූලී 15 වන දිනය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය මතක සටහනක් තැබූ ඓතිහාසික දිනයකි. ඒ ශ්‍රි ලංකාවේ තෝරාගත් පාසල් 250ක් 1ABS ගණයේ පාසල් බවට උසස් කර පාසල් විෂය මාලාවට අලුතින් හඳුන්වා දුන් තාක්ෂණික විෂය එම පාසල්වල ආරම්භ කිරීමයි. ඒ අනුව 2013 වන වර්ෂයේ දී  ශ්‍රි නාග ජාතික පාසල තුලද තාක්ෂණික විෂය ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු ආරම්භ වන අතර 2017  වනවිට එම පන්ති ප්‍රමාණය හතරක් දක්වා වර්ධනය වී තිබූ බව දැකිය හැකිය.

       එසේම නව ඉගෙනුම් සංකල්පය තුළ විද්‍යාලයේ ඉදි වූ මහින්දෝදය තාක්ෂණාගාරය විද්‍යගාරයට සමගාමීව පරිගණක ඒකකය,භාෂාගාරය,ගණිතාගාරය සහ නැණස ඒකකය දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා නව තාක්ෂණික පහසුකම් සහිත අපූරු ඉගෙනුම් මධ්‍යස්ථාන බවට පත්වී ඇත. එපමණක් නොව මෙම වර්ෂයේ අප පාසලේ  ස්ථාපිත වූ "smart classroom" ඇසුරින් ලත් නවීන පහසුකම් සහිත පන්ති කාමර සිසු දරුවන් මෙන්ම ගුරුභවතුන්ද ලද මහගු ආශීර්වාදයකි. තවද “13 වසරක අඛණ්ඩ අධ්‍යාපන" යන සංකල්පය පෙරදැරි කරගෙන ශ්‍රි නාග ජාතික පාසලේ 2018 මැයි මස ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති “ඉගෙනුම් මධ්‍යස්ථානය" අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් අඩු සුදුසුකම් ලබන දරුවන්ට අනාගත ජයගන්නට මහා සිප්වහලක් වනු නොඅනුමානය.

          විශේෂයෙන් අප පසුගිය කාලය තුල ලබා ඇති ජයග්‍රහණ අතුරින් විශේෂ ජයග්‍රහණ අතර වසර ගණනාවකට පසුව පසුගිය අ.පො.ස.(සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල 77%  දක්වා ඉහළට ගෙන ඒමට  සමත්වීම අතිශයින්ම සතුටට කාරණයක් විය. එමෙන්ම මෙවර අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල ද විශිෂ්ට ප්‍රතිඵල ගෙන එන බවට දැඩි විශ්වාසයක් ඇත. සමස්තයක් ලෙස සිසු දැරු දරුදැරියන් අනාගත අපේක්ෂා පෙරදැරි කරගෙන ඉගෙනුම් කටයුතුවල නිරත වීම තුලින් දිනෙන් දින ඔවුන්ගේ සාධන මට්ටම ඉහළ ප්‍රගතියක් ඇතිවන බව පැහැදිලිවම හඳුනාගත හැකිය.

         එමෙන්ම විද්‍යාලයීය විෂය සමගාමී ජයග්‍රහණ පිළිබඳව විමසා බැලීමේ දී මෙම වර්ෂයේ කලාප පළාත් මට්ටමේ මෙන්ම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ බොහෝමයකි. ඒ අතර චිත්‍ර,නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලා මෙන්ම මාධ්‍ය විෂයෙන් හා ඉංග්‍රීසී විෂයෙන් ලත් ජයග්‍රහණ සුවිශේෂීව සඳහන් කරමි. විශේෂයෙන් අත් පන්දු හා ක්‍රිකට් ක්‍රිඩාව තුළින් ලත් ජයග්‍රහණ රැසකි.

        ප්‍රථම වතාවට ශ්‍රි නාග-නාලන්ද “මහතලා” වාර්ෂික ක්‍රිකට් තරගාවලිය 2017 වර්ෂයේ ආරම්භ කළ අතර එහි ප්‍රථම ජයග්‍රහණය ද ශ්‍රි නාග ජාතික පාසල අත්පත් කර ගැනීම ක්‍රිකට් ක්‍රිඩාව පිළිබඳ පාසලේ තවදුරටත් ප්‍රචලිත කිරීමට කදිම අවස්ථාවක් විය.

           එමෙන්ම 2018 වර්ෂය තුළ ලබාගත් ශිෂ්‍ය ජයග්‍රහණ අතරට නැටුම් අංශය සඳහා යෞවන සම්මාන සමස්ත ලංකා නර්තන පළාත් නිර්මාණ (මැටි කර්මාන්තය ආශ්‍රිතව) තවද සමස්ත ලංකා පාසල් දෙවන  ප්‍රථම ජයග්‍රහණ (10,11,12,13 හා 6, 9) ශ්‍රේණි මට්ටමින් ලබාගෙන ඇත. එමෙන්ම ශ්‍රි නාග ජාතික පාසල් නාට්‍ය හා රංග කලාව විෂයන් සඳහා පළාත් හා ජාතික මට්ටමින් ජයග්‍රහණ අඛණ්ඩව 2013 සිට 2019 දක්වා ලබාගෙන ඇත. තවද ශිෂ්‍ය ඉංග්‍රිසි භාෂා තරගාවලිය 2018 සඳහා කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය ද ක්‍රිඩා තරඟ සඳහා 2019 වර්ෂයේ කලාප මට්ටමින් ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථානද ලබා ගෙන ඇත. 

            ‘13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය’ යන සංකල්පය පෙරදැරි කරගෙන ශ්‍රි නාග ජාතික පාසලේ 2018 මැයි මස ස්ථාපිත කරන ලද “ඉගෙනුම් මධ්‍යස්ථානය” අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් සමත්/අසමත් දරුවන්ට අනාගතයේ ජය ගැනීමටත්, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමටත් මනා පිටුවහලක් වී ඇති අතර එම වැඩසටහන යටතේ ප්‍රථම කණ්ඩායම 2019 වර්ෂයේ ජූලි මස NVQ 4 වෘත්තීය නිපුණතා සහතිකය ලබාගැනීම සඳහා ආයතනගත කර ඇති අතර දෙවන කණ්ඩායම වෘත්තීය විෂයධාරා ඔස්සේ උද්යෝගයෙන් අධ්‍යාපන කටයුතු හදාරන බව සතුටින් දන්වා සිටිමු. 

       

ආරම්භ කළ වර්ෂය

1882 මාර්තු 21

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

ඒස්.පී.යූ.බංඩා මහතා

පාසලේ ආදි කතෘගේ නම

එස්.පී.යූ.බංඩා මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01(පොල් අතු සෙවිලි කළ කටු මැටි ශාලාවක්)

පාසලේ නම

ස්වභාෂා පිරිමි පාඨශාලාව

පාසල භාරව කටයුතු කිරීම

එස්.පී.යූ.බංඩා මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මාතලේ නාඋල තැනිතලා පිහිටි ප්‍රදේශයක